HAPPY HOLIDAYS : නුවරඑළිය මේකාළේ අස්ප ගණන් | නිවාඩුවට යන්න පුලුවන් කඳුකරයේ වෙනත් තැන් ටිකක්


ඇල්ල

'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ලංකාවෙ අපි වැඩිය නොගියත්, ලංකාවට ඇවිල්ලා උඩරට පැත්තේ සංචාරය කරන විදේශිකයින් මහනුවරට පස්සේ කෙලින්ම යන්නේ ඇල්ල පැත්තට. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. බලන්න දේවල් ගොඩක් තියෙන ඇල්ල සංචාරකයින් වැඩි නිසාම නවාතැන් පහසුකම් ගණන් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා ඔන්ලයින් ගිහිල්ලා හොයලා බලලා ගණන් කතාකරගෙන යන්න. 

ඇල්ල සංචාරයේදී අමතක නොකර බලන්න තියෙන දේවල් ටිකක් මෙන්න;

Ella Rock

පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.

Little Adam's Peak

ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.

Ravana Cave

'ඇල්ල ගල' කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.

Carving of 'Pulasthi Muni'

රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S' වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.

Ravana Falls

රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.

Nine Arch Bridge (Demodara) & Demodara Railway Station

දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස් එකකට ගොඩ වෙලා දෙමෝදරින් බැහැල යන අයට මෙන්න තියෙනව අපූරු පා ගමනක්. දුර කිලෝමීටර 3කට ආසන්නයි. ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැහැල දකුණු පැත්තට ඇවිදන් යන්න. පැයක් යන්න කලින් ආරුක්කු නවයෙ පාළමට ලඟා පුළුවන්. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.

ඇල්ල සිරි නරඹන්න හොඳ තැන්වල විස්තරය ගත්තේ මෙතනින්.

බදුල්ල

මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. 

නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් තියෙනවා. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

බදුල්ල සිරි නරඹන්න හොඳ තැන්වල විස්තර

මුතියංගන රජ මහා විහාරය

ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කරන ලදී.

බෝගොඩ පැරණි විහාරය

බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.

දුන්හිඳ ඇල්ල

බදුල්ල නගරයේ කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 ක් පමණ වේ.

බදුල්ල කතරගම දේවාලය

17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ තිබෙයි.

බදුලු ටැම් ලිපිය

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.

බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ 

බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන තිබේ.

බදුල්ල ඔරලෝසු කණුව

බදුල්ල නගර මධ්‍යයේ වූ බදුල්ල ඔරලෝසු කණුව මෙරට පැරණිතම ඔරලෝසු කණු අතරින් එකකි.

හෝර්ටන් තැන්න

බදුල්ලේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටා තියෙනවා. වැලිමඩ, බෝරලන්ද, ඔහිය හරහා හෝර්ටන් තැන්නට ලඟාවෙන්න පුලුවන්.

දෝව රජමහා විහාරය

බදුල්ලේ සිට කිලෝමීටර් 21 දුරින් දෙමෝදර පසුකර යනවිට දෝව රජමහා විහාරය හමුවෙනවා. දෝව රජ මහා විහාරය වලගම්බා යුගයට අයත් විහාරයක් බව සදහන්වේ. වළගම්බා රජු කලක් සැගවී සිටි සථානයක් ලෙස මෙය සැලකේ. මෙහි අඩි 38 ක ගල් ප්‍රපාතයෙහි කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එසේම වලගම්බා රජු භාවිතා කල රහස් උමගක්ද මෙහි දක්නට ඇති අතර එහි අවසානයක් මේ දක්වා සොයාගෙන නැත. 

දෙණියායේ ලුම්බිණි තේ වතුයායේ "දළු" තේ මධ්‍යස්ථානය
දෙණියාය

ශීත දේශගුණය විඳිමින්, නිස්කළංක නිවාඩුවක් ගතකරන්න දෙණියාය තෝරාගන්නත් පුලුවන්. ඇවිදින්න බලන්න තැන් ගොඩක් නොතිබුණත්, නිවීහැනහිල්ලේ දවසක් දෙකක් ගතකරමින් පරිසරයේ සුන්දරත්වය විඳින්න දෙණියාය හොඳයි. වැඩි සංචාරක ආකර්ෂණයක් නැතිනිසා එතරම් මිළක් වියදම් නොකර නවතින්නත් පුලුවන්. 

සිංහරාජ තෙත් වනාන්තරය

දෙණියායේ ඉඳන් බලන්න යන්න පුලුවන් හොඳම සංචාරක ආකර්ෂණවලින් එකක් තමයි සිංහරාජය. සිංහරාජ වනාන්තර ගැන ඕනෑතරම් විස්තර ලියවිලා තියෙන නිසා අලුතෙන් මුකුත් ලියන්න යන්නේ නෑ. දෙණියාය නගරයේ ඉඳන් කිලෝමීටර් 8ක් විතර දුරින් සිංහරාජ වනයේ පිවිසුම වෙත යන්න පුලුවන්.

සත්මල් ඇල්ල

ගින් ගඟ හරහා වැටුනු සත්මල් ඇල්ල දෙණියායේ ඉඳන් කිලෝමීටර් 9ක් විතර දුරින් දෙණියාය පල්ලෙගම පාරේ තියෙන්නේ. ලුම්බිණි තේ කර්මාණ්තශාලාව හා "දළු" තේ මධ්‍යස්ථානය තියෙන්නෙත් මේ පාරේමයි.

හත් මාලේ දිය ඇල්ල ලෙසින් ද හැඳින්වෙන එය ඈත සිට බලන විට පියාඹන සමනලයෙකු ලෙසින් ද දිස් වේ. එසේ ගලා හැලෙන මේ සුන්දර ජල කඳ පල්ලේගම ප්‍රදේශයේ දී ගිං ගඟට එකතු වෙයි. 







__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

Post a Comment