FACEBOOK : ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවන්න රුසියන් බුද්ධි අංශ ෆේස්බුක් පාවිච්චිකල හැටි


2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසි අත්කොට ඇමරිකානු දේශපාලන ලෝකයේ අස්ථාවරත්වය වැඩිකිරීමට රුසියානු රජයේ උපදෙස් මත මත රුසියානු බුද්ධි අංශ මගින් මෙහෙයවන හැකර් කණ්ඩායම් ක්‍රියාත්මකවූ බව දැන් තහවුරුවී තියෙනවා. මේ සඳහා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පෞද්ගලිකවම ආශීර්වාද කල බවත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය හා චන්දක්‍රමය පිලිබඳව ඇමරිකන් ජනයාතුල ඇති විශ්වාසය කඩවන ආකාරයේ ව්‍යාපෘති සඳහා ඔහු අණලබාදුන් බවත් ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරනවා.

මේ බව ඇමරිකාවේ එවක ජනාධිපති බැරැක් ඔබාමා පවා දැන සිටි බවත් 2016 ඔක්තෝම්බර් 31 වෙනිදා ඔහු, ව්ලැඩිමීර් පුටින්ට දුරකථන ඇමතුමක්දී ඇමරිකන් චන්දව්‍යාපාරයට බලපෑම් සිදුකරන මෙහෙයුම් නවත්වාදමන ලෙස බලකල බවත් එසේ නොකලහොත් ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවටත් දැඩිලෙස අවවාද කොට තිබෙනවා.

2016 දෙසැම්බර් 29වැනිදා බැරැක් ඔබාමා රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් 26 රටින් නෙරපා රුසියානු තානාපති අංශවලට අයත් නිවාස දෙකකට ඇතුලුවීම තහනම් කිරීමටත් පියවර ගත්තා. 

මේ පියවරයන් සඳහා සෘජු හේතුලෙස ඇමරිකානු චන්දදායකයින්ගේ විස්තර ඇතුලත් දත්ත ගබඩාවලට ඇතුලුවීමට රුසියානු හැකර්වරුන් ගත් උත්සහයන් හා ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයේ පරිගණක යන්ත්‍රවලට රුසියානු හැකර්වරුන් ඇතුලුවී තොරතුරු සොරාගැනීම හේතුවනවා. මෙවැනි බරපතල මෙහෙයුම් ව්ලැඩිමීර් පුටින්ගේ සෘජු අණක් නොමැතිව සිදු නොවන බව ඇමරිකානු බුද්ධි අංශ විශ්වාස කරනවා.



Russian Institute for Strategic Studies නම් රුසියානු බුද්ධි අංශ හා සම්බන්ධ පර්යේෂණ ආයතනය හිලරි ක්ලින්ටන් ජනපතිවරණයෙන් ජයගනු ඇතැයි 2016 මාර්තුව වනවිට නිගමනය කොට තිබූ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේ ගමන්මග වෙනස් කොට හිලරි ක්ලින්ටන් පිලිබඳව තිබූ ජනතා විශ්වාසය පලුදුකිරීමටත්, රුසියාවේ හිතවතෙකු මෙන් ක්‍රියාකරනු ඇතැයි පුටින් විසින් විශ්වාස කල ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම සඳහා සෘජුව මෙහෙයුම් සිදුකිරීමටත් රුසියාව තීරණය කලේ මේ නිගමනයෙන් පසුව බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ ක්‍රියාන්විතය සඳහා ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල භාවිතා කිරීමට රුසියානුවන් තිරණය කොට තිබුණා. රුසියානු හැකර්වරුන් විසින් ඒ වනවිටත් දහස් ගණන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හා ට්විටර් ගිණුම් නිර්මාණය කරගෙන තිබූ අතර ඒවා හරහා හිලරි ක්ලින්ටන්ට අවාසි දායක ප්‍රවෘත්ති විශාල වශයෙන් සංසරණය කරවීමට, ව්‍යාජ පුවත් සහිත පෝස්ටු ෆේස්බුක් හා ටිව්ටර් දැන්වීම් හරහා ප්‍රචලිත කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ෆේස්බුක් හා ට්විටර් දැන්වීම් සඳහා ඩොලර් ලක්ෂගණනින් වැය කොට තිබෙන බව හෙලිවී තියෙනවා.

මාර්ක් සකර්බර්ග් කොන්ග්‍රස් මණ්ඩළයේ හරස් ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රකාශකලේ APT28 නම් රුසියානු හැකර් කණ්ඩායමක් විශාල වශයෙන් ව්‍යාජ ගිණුම් හා ෆේස්බුක් පිටු හරහා හිලරි ක්ලින්ටන්ට අවාසි බොරු ප්‍රවෘත්ති ඇතුලත් දැන්වීම් පලකොට ඇති බවයි. එම ප්‍රවෘත්ති ලක්ෂ ගණනක් ඇමරිකානු චන්ද දායකයින්ගේ ෆේස්බුක් ගිණුමේ ටයිම්ලයින් එකට ඇතුලු කොට ඔවුන්ව නොමග යැවීමට සමත්වූ බව ඔහු පිලිගත්තා. 

DC Leaks නම් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා වැරදි තොරතුරු ජනමාධ්‍යවේදීන් වෙත යැවීමටද  ඔවුන් සමත්වී ඇති අතර ඒ අනුව එම වැරදි තොරතුරු නිවැරදි තොරතුරු ලෙස ඇමරිකානු ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරවීමටද රුසියානුවන් සමත්වී තිබෙනවා.

එමෙන්ම Internet Research Agency (IRA) නම් ව්‍යාජ ගිණුමක් හරහා ව්‍යාජ තොරතුරු හා ක්ලින්ටන්ට අවාසිදායක බොරු ප්‍රවෘත්ති 80,000ක් පමණ ඇමරිකානු ෆේස්බුක් සාමාජිකයින් වෙත කාන්දු කිරීමටද ඔවුන් සමත්වී තිබෙනවා.මේ සඳහා Internet Research Agency හා සම්බන්ධ කොට තිබූ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 470ක් උපයෝගී කරගෙන තියෙනවා. Internet Research Agency ව්‍යාජ ආයතනයේ බොරු ප්‍රවෘත්ති ඇමරිකානු චන්දදායකයින් මිලියන 120කට අධික පිරිසකගේ ටයිම්ලයින් වලට ඇතුලත්වී තිබෙන බව මාර්ක් සකර්බර්ග් සඳහන් කලා. එමෙන්ම මේ ඉන්ටර්නෙට් රිසර්ච් ඒජන්සිය ක්ලින්ටන්ට අවාසි පණිවුඩ රැගත් ෆේස්බුක් දැන්වීම් 3000ක් ෆේස්බුක් ජාලයේ වැපිරීම සඳහා ඩොලර් 100,000ක පමණ මුදලක් දැන්වීම් ගාස්තුලෙස ෆේස්බුක් ආයතනයට ගෙවා තිබෙනවා. මේ දැන්වීම් ඉලක්කගත චන්දදායකයින් මිලියන 11කගේ ෆේස්බුක් ටයිම්ලයින් වලට ඇතුලත්වී තිබෙනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments