HISTORY (WWII) : රතු හමුදාවේ ස්නයිපර් ලුද්මිලා - නට්සි සෙබලුන් 309ක් ස්නයිපර් වෙඩි වලින් බිලිගත් මරණයේ දෙව්දුව

ලුද්මිලා 1942දී  සටන්බිමේ සිටියදී ගෙන පසුව වර්ණගන්වන ලද ඡායාරූපයක්
1941දී 24වැනි වියෙහි පසුවූ යුක්‍රේනියානු සම්භවයක් ඇති ලුද්මිලා පැව්ලිචෙන්කෝ රතු හමුදාවට බැඳුනේ සිය මාතෲ භූමිය ආක්‍රමණය කල නට්සි සතුරන් පලවා හරින්නටය. කුඩා කල සිට තුවක්කුවලට ආශා කල ඇයට හෙදියක් වන ලෙස සෝවියට් රතු හමුදා නායකයින් යෝජනා කලද, එය ප්‍රතික්ෂේප කලාය. ඇය තෝරා ගත්තේ කුඩා කල සිට ඇලුම්කල තුවක්කුවය.

රූමතියක් වූ ඇයට, රුව නිසාම හමුදාව තුල විවිධ කෙනෙහිලි කම් සිදුවූයේ "වැඩකට නැති ලස්සන කෙල්ලෙක්" ලෙස බොහෝ නිළධාරීන් ඇය නොසලකා හැරීම නිසාය. එහෙත් දැඩි අධිෂ්ඨානයෙන් පුහුණුව නිමකල ඇය ඉලක්කයට වෙඩිතබන්නියක් (ස්නයිපර්) ලෙස රතු හමුදාවේ 25වැනි රයිෆල් බළකායට අනුයුක්තවූවාය.

මාස දෙකහමාරක් ඔඩෙස්සා ප්‍රදේශයේ සටන්කල ඇය නට්සි සතුරන් 187දෙනෙකු මරා දමන්නට සමත්වූයේ උසස් නිළධාරීන් විස්මයට පත් කරමිනි. ඉන් පසු සෙවැස්ටපොල් ප්‍රදේශයට මාරුවීමක් ලද ඇය මාස අටක් තුල තවත් නට්සීන් 122 දෙනෙකුගේ දිවිතොර කලාය. ඇය වෙඩිතමා මරාදැමූවන් අතර නට්සි ජර්මන් ස්නයිපර් සෙබලුන් 39දෙනෙකුම සිටීම තවත් විශ්මයජනක වික්‍රමයකි.

1942දී මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලබන විට ලුද්මිලා ස්නයිපර් වෙඩික්කාරියක් වී යන්තම් වසරක් ගත්වී තිබූ අතර, ඒ වන විට ඇයගේ වෙඩි පහර වලින් නිසැකයෙන්ම මරාදැමුනේයයි තහවුරුවූ නට්සි සෙබලුන් ගණන 309. ඒ අනුව දිනකට එකා බැගින් නට්සීන් ඇයගේ සියුමැලි දෑතේ රැඳුනු Mosin-Nagant 7.62 රයිෆලයට බිලිවී තිබුණි.

ලුද්මිලා සටන්බිමෙන් ඉවත්වූ පසු ගන්නා ලද ඡායාරූපයක්
ඒ වනවිට රතුහමුදාවේ මෙන්ම නට්සි හමුදාවේද ඉහල ප්‍රතිරූපයක් ඇයට තිබූ අතර ඇය කෙසේ හෝ මරාදැමීමට නට්සි අණදෙන නිළධාරීන් නියෝග කොට තිබූ බව සෝවියට් ඔත්තු සේවය වාර්තාකොට තිබුණි. ඒ අනුව වීරවරියක් වූ ඇයව ආරක්ෂා කරගැනීමටත්, ඇය මරාදැමීමෙන් සතුරාගේ චිත්ත ධෛර්යය වර්ධනයවීම වැලැක්වීමටත් ලුද්මිලාව සටන්බිමෙන් ඉවත් කරගන්නට රතු හමුදා නිළධාරීන් තීරණය කලහ.

යුද්ධයෙන් පසු යුක්‍රේනයේ කියෙෆ් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිලිබඳ උපාධියක් දිනාගත් ඇය ඉතිහාසඥයෙකු ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගත කල අතර 58 වියෙහි පසුවූ ලුද්මිලා 1974දී ස්වභාවික හේතූන්මත දෙනෙත් පියාගත්තාය.

ලුද්මිලාගේ සතුරන් 309 මරාදැමීමේ වාර්තාව තවමත් නොබිඳී ඇති අතර යුධ ඉතිහාසයේ සාර්ථකම ස්නයිපර් වෙඩික්කාරිය ලෙස තවමත් ඇය වාර්තාව හිමිකරගෙන සිටී. ඇයගේ වික්‍රමාණ්විත සේවය අගැයිමට සෝවියට් සමූහාණ්ඩුව 1943දී හා ඇයගේ මරණයෙන් පසුව 1976දී සමරු මුද්දර දෙකක් නිකුත්කරන ලදී.






__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. නීනා ඔනිලෝවා කියන්නෙත් මෙයා වගේම රතු හමුදාවෙ mashine gun එකෙන් පැසිස්ට්ලට පන්න පන්න පහරදපු කෙනෙක්.. එයා නම් සටනකදි නැතිවුනා. එයා ගැනත් පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් වටිනව

    ReplyDelete

Post a Comment