1939දී, දෙවන ලෝක යුද්ධය හිනිපත්තේ සිටියදී පිටසක්වල ජීවය ගැන කල්පිත ඉදිරිපත් කල බ්‍රිතාන්‍ය අගමැති සර් වින්සන්ට් චර්චිල්


ඒ 1939 වසරයි. නට්සිවාදය යුරෝපය පුරා පැතිරෙමින් තිබූ අවධියයි. එකල ලොව බලවත්ම රාජ්‍යය මෙන්ම විශාලතම අධිරාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. නට්සි ව්‍යාප්තිය එකල යුගයේ ගැටලුව වී තිබුණත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සර් වින්සන්ට් චර්චිල් ලියා තබා මෑතකදී අවධානයට ලක්වුනු ලිපියක, එතරම් කාර්ය බහුල ඒ යුගයේදීත්, සර් වින්සන්ට් චර්චිල් පිටසක්වල ජීවය පිලිබඳ සිතමින් තිබූ බවට කාරනා හෙලිවී තිබෙනවා.

"Are we alone in this universe? -අප මේ විශ්වයේ තනිවමද?" යන සිරස්තලයෙන් යුතු පිටු 11ක එම ලිපිය, විද්‍යාත්මක පුහුණුවක් නොතිබූ දේශපාලඥයෙකු විසින් ලියන ලද්දක් යයි සිතීමටත් අපහසු තරමේ නූතන චින්තනයෙන් පිරී තිබෙන බව එය අධ්‍යයනය කල විශේෂඥයින් පවසනවා.


චර්චිල්ගේ ලිපියේ එක් පරිච්ඡේදයක මෙසේ සටහන් කොට තිබෙනවා. "මානවයා වන අප මෑතකදී ලබාගත් සුවහසක් ජයග්‍රහණයන් හා දියුණුව කෙතෙක් වුවත්, මේ සුවහසක් විශ්වයේ ජීවත්වන, සිතිය හැකි එකම ජීවීන් අප බවත්, අපගේ ශාරීරික හා මානසික සංවර්ධනය විශ්වයේ ඇතිවී ඇති එකම උපරිම පරිනාමය බවටත් සිතීම අපහසුයි" 

චර්චිල් මෙය ලියන යුගයේදී විශ්වයේ වෙනත් තාරකා වටා, සූර්යයා මෙන් සෞරග්‍රහ මණ්ඩල තිබෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොවූ අතර, එම විශ්‍යාත්මක සාක්ෂි ලැබුනේ මෑතකදී අභ්‍යවකාශ ගතකරන ලද කෙප්ලර් අභ්‍යවකාෂ නිරීක්ෂණ යානයෙන් ලැබුණු දත්ත මගිනි. එසේ වුවද, චර්චිල් ඉතා තර්කාණුකූලව සුවසක් විශ්වයේ බිලියන ගණනක් තාරකාවටා අනිවාර්යයෙන් පෘථිවිය මෙන් ග්‍රහයන් ඇති බවට අනුමාන කල අතර, ඒවායින් ද්‍රව ජලය ඇති ග්‍රහලෝකවල ජීවය ඇතිවිය හැකි බවට කල්පිතයක් ඉදිරිපත් කරනවා.


චර්චිල් ලියා ඇති ආකාරයට "අප දන්නා ජීවයට ජලය අත්‍යාවශ්‍ය බැවින්, ජීවය ඇතිවිය හැක්කේ ජලය ඇති ග්‍රහලෝක වලයි..."

අදටත් නාසා ආයතනය හා යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය, අඟහරු වැනි ග්‍රහයන් මත ජීවිය සොයාගැනීම සඳහා මූලිකම නිරීක්ෂණය ලෙස ජලය ඇතැයි සැළකෙන ස්ථාන තෝරා ගන්නවා. ඒ අනුව 1939 තරම් ඈතකදී, දේශපාලඥයෙකුවූ චර්චිල් මොනතරම් පරිනත විද්‍යාත්මක චින්තනයකට හිමිකම් කීවෙක්දැයි සිතාගත හැකියි. 

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments